22 වන ව්‍යවස්ථා සංශෝධනය සදහා කරුණු 7 කින් යුත් යෝජනාවලියක් අධිකරණ ඇමතිට භාර දෙයි....

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ නියෝජිතයින් අතර හමුවක් (2022.08.09) අධිකරණ අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී 22 වන ව්‍යවස්ථා සංශෝධනය සදහා ඔවුන් විසින් යෝජනා කරනු ලබන කරුණු 7 කින් යුත් යෝජනාවලියක් අමාත්‍යතුමා වෙත භාරදීම සිදු විණි.

ජනාධිපති සමාව ලබාදීම, රටේ සංවර්ධනය හෝ අභිවෘද්ධිය සදහා වන යෝජනා සහ පනත් කෙටුම්පත් සෘජුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අයිතිය ජනතාව වෙත ද ලබාදීම, ජනතා ඡන්දයෙන් තේරී පත් වන ජනතා නියෝජිතයින් පක්ෂ මාරු කිරීම වළක්වාලීමට අවශ්‍ය ව්‍යවස්ථාමය නීති ප්‍රතිපාදන සම්පාදනය විම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නිසි මූල්‍ය තත්වයක් හා සක්‍රිය ක්‍රියාකාරීත්වයක් හිමි කරදීම, විගණන අධිකරණයක් (Court Of Audit) පිහිටුවීම, ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම හා ව්‍යවස්ථාව අනුව රාජ්‍යයේ මූල්‍ය බලය පාර්ලිමේන්තුව සතු පරම වගකීමක් වීම යන කරුණු සර්වපාක්ෂික අරගලකරුවන් විසින් අධිකරණ අමාත්‍යතුමා වෙත භාරදුන් යෝජනාවලියට අන්තර්ගතව තිබේ.

වත්මන් දේශපාලන හා ආර්ථික තත්වය පිළිබදව සර්වපාක්ෂික අරගලකරුවන් සහ අධිකරණ අමාත්‍යතුමා අතර සුහද සාකච්ඡාවක් පැවති අතර එහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ අරගලය තුළින් ලබා ගත් ජයග්‍රහණ නිසි පරිදි ජනතාව වෙත ලබාදීම සිදු කළ යුතු වන්නේ ව්‍යවස්ථානුකූලව බවයි.

22 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ගෙන එනු ලබන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ හා දේශපාලන ස්ථාවරත්වය ඇති කරලීම සදහා වත්මන් රජය මේ වන විට ගෙන ඇති පියවර සම්බන්ධව අධිකරණ අමාත්‍යතුමා විසින් සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ නියෝජිතයින්ව දැනුවත් කරන ලදී.

meetinng 08 09 img 1