• වංචනික ලෙස වත්කම් උපයමින් විදේශ රටවල තැන්පත් කරන ලද මුදල් නැවත අය කර ගැනීම කඩිනමින් ආරම්භ කෙරේ.
  • මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහාය පළ වේ.

වංචනික ලෙස වත්කම් උපයමින් විදේශ රටවල තැන්පත් කරන ලද පුද්ගලයින්ගේ මුදල් නැවත අය කර ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහාය ලබාදීමට එකගවු බැවින් එම කටයුත්ත ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

එවැනි ආකාරයෙන් මුදල් උපයා විදේශ රටවල තැන්පත් කරන ලද පුද්ගලයින්ගේ මුදල් නැවත අය කර ගැනීම සම්බන්ධයෙන් ලෝක බැංකුව වෙනුවෙන් මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලය කටයුතු කරන බවත්, නව දුෂණ විරෝධි පනත මෙම මස 15 වැනි දින සිට බලාත්මකවීමත් සමග එවැනි පුද්ගලයින් පිළිබදව කටයුතු කිරීමේ හැකියාව නව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට හැකියාව ලැබෙන බවත්, අධිකරණ අමාත්‍යතුමා පැවසීය.

සොරකම් කරන ලද වත්කම් නැවත ලබා ගැනීම සදහා ලෝක බැංකුව සහ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලය එක්ව කටයුතු කරනු ලබන STAR ක්‍රමවේදය අනුව වංචනික ලෙස වත්කම් උපයමින් විදේශ රටවල තැන්පත් කරන ලද පුද්ගලයින්ගේ මුදල් නැවත අය කර ගැනීමට කටයුතු කිරීමට නියමිතයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ දකුණු ආසියානු කලාපීය නියෝජිත Marco Teixeira මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මත් ද්‍රව්‍ය අපරාධ දුෂණය සහ ත්‍රස්තවාදයෙන් තොරව ලෝකය සුරක්ෂිත කිරීම, ලෝක සාමය ආරක්ෂා කිරීම, සංවර්ධනය කටයුතු සදහා දායකවීම අරමුණු කර ගනිමින් 1997 වසරේදී මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලය ස්ථාපිත කර තිබේ.

අපරාධ සිදු වීම වැළැක්වීම සදහා මෙරට ක්‍රියාත්මක අධිකරණ ක්‍රමවේදය, දුෂණ අවම කිරීම සදහා සම්මත කරන ලද නව දුෂණ විරෝධි පනත, නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත හා මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබදව අධිකරණ අමාත්‍යතුමා අදහස් පළ කළේය.
පුනරුත්ථාපන ක්‍රියාවලිය ශක්තිමත්ව සිදු කිරිම සදහා නව පනත් සම්මත කිරීම, මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමට නව මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, බන්ධනාගාර තුළ සිදු වන පුනරුත්ථාපන ක්‍රියාවලිය හා ප්‍රජා විශෝධන ක්‍රමවේදය පිළිබදව අමාත්‍යතුමා කරුණු පැහැදිලි කරන ලදී.

ශ්‍රී ලංකාවේ අපරාධ සහ දුෂණ මර්දනය කිරීම සදහා මේ වන විටත් වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක අතර, ඉදිරියේදී තවදුරටත් එම වැඩ සටහන් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම හා අපරාධවලින් හා දුෂණයෙන් තොර රටක් සදහා අවශ්‍ය සියලු සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බව මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ දකුණු ආසියානු කලාපීය නියෝජිතවරයා මෙහිදි සදහන් කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ දකුණු, නැගෙනහිර හා පැසිපික් කලාපීය මෙහෙයුම් ඒකකයේ Ekaterina Kolykhalova, මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා වැඩ සටහනේ ගෝලීය සමුද්‍ර හා අපරාධ අංශයේ ප්‍රධානී Siri Bjune, මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මෙරට ජාතික වැඩ සටහන් සම්බන්ධිකාරක අනුෂා මුණසිංහ යන මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

moj meeting 09 04 img 01 moj meeting 09 04 img 02

moj meeting 09 04 img 03 moj meeting 09 04 img 05