" අධිකරණ ක්ෂේත්‍ර ඉතිහාසයේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසින් කොළඹ අලුත්කඩේ ඉදි වන අධිකරණ පියස 2024 වසරේ අගෝස්තු මාසය වන විට ජනතා අයිතියට පත්කරනවා. සංවර්ධිත රටක් ලෙස ඉදිරියට යාමේදී යටිතල පහසුකම් සංවර්ධනය කරනවා සේම නීතියේ පාලනය සැමට සාධාරණ ස්ථාපිත කිරීම අතිශයින් වැදගත් වෙනවා. ඒ වෙනුවෙන් රජයක් විදියට අපි කැපවෙනවා "
- අධිකරණ අමාත්‍යතුමන් පවසයි

" නව නීති සංශෝධන 60 ක් පමණ සිදු කරමින් දශක ගනනාවක් තුළ නොකෙරුනු කාර්ය භාරයක් පසුගිය වසරක් තුළ අධිකරණ ඇමතිතුමා සිදුකළා"
⁃ ජනමාධ්‍ය අමාත්‍යතුමන් පවසයි

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අභිනවයෙන් ඉදි කරන ලද මාතර නව අධිකරණ සංකීර්ණය සහ වලස්මුල්ල නව දිසා/ මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවන් සදහා එක්වෙමින් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමා සහ ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා මෙම අදහස් පළ කළේය.

මාතර නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 1286.5 ක මුදලක් වැය කර ඇති අතර, සිවිල් අභියාචන මහාධිකරණ 01 ක්, අපරාධ මහාධිකරණ 01 ක්, දිසා අධිකරණ 04 ක්, මහෙස්ත්‍රාත් අධිකරණ 02 ක් හා කම්කරු විනිශ්චය සභා එකකින් හා අනෙකුත් පොදු පහසුකම්වලින් සමන්විතව නව අධිකරණ සංකීර්ණය ඉදි කර ඇත.

වලස්මුල්ල නව අධිකරණ ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 66.7 ක මුදලක් වැය කර ඇති අතර, දිසා/මහේස්ත්‍රාත් අධිකරණයකින් එය සමන්විත වෙයි.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නුතන තාක්ෂණය ඔස්සේ මෙම විවෘත කිරීමේ උත්සව සදහා සම්බන්ධ විය.

තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.

පීඩාවට පත් වන ජනතාවට පක්ෂ පාට භේදයෙන් තොරව යුක්තිය සාධාරණත්වය පතා යා හැකි එකම ස්ථානය අධිකරණය වන බැවින් අප සියලු දෙනාගේ අවසාන ඉලක්ය විය යුතු වන්නේ එම ජනතාවට යුක්තිය ඉටු කර ගැනීම සදහා පිහිට වීම වන බවත්, අධිකරණයේ ස්වාධීනත්වය අධිකරණයේ අභිමානය ශක්තිමත් කළ යුතුව ඇති අතර එවිට නීතීයේ ආධිපත්‍යය ස්ථාපිතව අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත වන බවත් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත නොවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගෙන යා නොහැකි බවත් අමාත්‍යතුමා සදහන් කළේය.

රටක සංවර්ධනය සදහා ජලය මාර්ග වැනි අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරනවා සේම නීතියේ පාලනය ස්ථාපිත කිරීම සංවර්ධිත රටක් ලෙස ඉදිරියට යාමේදී අතිශයින් වැදගත් වන බව පෙන්වා දුන් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ මේ සියලු දේ ස්ථාපිත කළ රටවල් සංවර්ධනයෙන් ඉදිරියට ගොස් ඇති බවයි. 2019 වසර අවසන් වන විට මෙරට අධිකරණවල නඩු ලක්ෂ අටක් පමණ පැවති අතර එහෙත් එවැනි විශාල නඩු සංඛ්‍යාවක් විසදීම සදහා විනිසුරුවරුන් සිටින්නේ 335 ක් වැනි ප්‍රමාණයක් බවත්, ඒ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට සියලු අධිකරණ සදහා විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කර නඩු ප්‍රමාදය අවම කිරීමට පියවර ගනිමින් සිටින බවත් මෙරට ජනගහනය හා සැසදීමේදී දැනට සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව මිලියනයකට 15 දෙනෙක් පමණක් බවත් සදහන් කළේය.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංවර්ධිත වැඩ පිළිවෙළ යටතේ අධිකරණ ක්ෂේත්‍රය පිළිබදව විශේෂ අවධානයක් යොමුව ඇති අතර පසුගිය වසරේ අය වැය තුළින් ඉදිරි වසර තුන තුළ අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීම සදහා රුපියල් බිලියන 20 ක මුදලක් වෙන් කිරීම තුළින් එය මනාව පැහැදිලි වන බවත්, මෙරට ඉතිහාසයේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ අලුත්කඩේ ඉදි වන අධිකරණ පියස ව්‍යාපෘතිය 2024 වසරේ අගෝස්තු මාසය වන විට ජනතා අයිතියට පත් කිරීම තුළින් අධිකරණ පද්ධතියේ විශාල සංවර්ධනයක් වනු ඇති බවත් අමාත්‍යතුමා සදහන් කළේය.

දියුනු වන ලෝකයත් සමග ඉදිරියට යාම සදහා නව තාක්ෂණය උපයෝගී කර ගත යුතු බැවින් අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යතුමා සදහන් කළේ පසුගිය වසරක පමණ කාලය තුළ නව නීති සංශෝධන 60 ක් පමණ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර තවත් නීති 50 ක් පමණ සංශෝධනයට කටයුතු කරමින් සිටින බවයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා මෙහිදි අදහස් පළ කරමින් සදහන් කළේ මාතර නව අධිකරණ සංකීර්ණය තුළින් මාතර ජනතාවට යුක්තියේ සාධාරණත්වය ඉටු කර ගැනීම වඩාත් පහසු වන බවයි. සියලු යටිතල පහසුකම්වලින් සපිරි නව අධිකරණ සංකීර්ණයක් ලබාදීම වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට කෘතඥතාවය පළ කරන බවත් ,වත්මන් අධිකරණ අමාත්‍යතුමා අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් දක්වනු ලබන කැපවීම මැදිහත් පුරවැසියෙකු ලෙස බෙහෙවින් අගය කරන බවත් සදහන් කළේය.

ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා අදහස් පළ කරමින් සදහන් කළේ මාතර නව අධිකරණ සංකීර්ණය අද දින විවෘත කිරීමට ලැබීම මාතර ජනතාව ලද විශාල භාග්‍යයක් කොට සලකන බවයි. 2013 වසරේදී වත්මන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් මෙම ව්‍යාපෘතිය සදහා මුල්ගල තැබු බවත් එවකට ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාතර නව නගර සැළැස්ම වැඩ පිළිවෙළ යටතේ මේ නව අධිකරණ සංකීර්ණයේ කටයුතු ආරම්භ වු බවත් ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා ලබා දුන් නායකත්වය කෘතවේදීව සිහිපත් කළ යුතු බවත් ජනමාධ්‍ය අමාත්‍යතුමා පැවසිය. පිඩාවට පත් වන අහිංසක ජනතාවට යුක්තියේ පිළිසරණ කඩිනමින් ලබා ගැනීම වෙනුවෙන් ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් ගෙන යන වැඩ පිළිවෙළ අගය කරන අතර පසුගිය වසරක පමණ කාලය තුළ නව නීති සංශෝධන 60 ක් පමණ සිදු කිරීමට කටයුතු කිරීම පිළිබදව එතුමාට ස්තූතිවන්ත වන බවත් ජනමාධ්‍ය අමාත්‍යතුමා සදහන් කළේය. මාතර නව අධිකරණ සංකිර්ණය නීතියේ යම් යම් බාධාවන් නිසා පීඩාවට පත්ව සිටින අහිංසක ජනතාවට යුක්තිය හා සාධාරණත්වය ඉටු කරනු ලබන ප්‍රදිපස්ථම්භයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවද එතුමා පැවසීය.

මාතර නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නිපුන රණවක ,කරුනාදාස කොඩිතුවක්කු, වීරසුමන වීරසිංහ මැතිතුමන්ලා ඇතුළු දේශපාලන නියෝජිතයින්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා ,ගරු අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්,මාතර මහාධිකරණ විනිසුරුතුමා ප්‍රධාන ගරු විනිසුරුතුමන්ලා, මාතර අධිකරණ නීතිඥ සංගමයේ සභාපති රානි රත්නායක මහත්මිය නීතිඥවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මාතර අධිකරණ සංකීර්ණයේ නීතිඥ සංගමය වෙනුවෙන් ඉදි කරනු ලබන නීතිඥවරුන්ගේ කාර්යාල සංකිර්ණයට මුල්ගල තැබීම ද මෙහිදි සිදු විය.

මෙදිනම වලස්මුල්ල නව අධිකරණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ගරු වාරිමාර්ග අමාත්‍ය, අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා සදහන් කලේ මහ ජනතාවට ඇති වන ගැටළු කඩිනමින් විසදා ගැනීම සදහා අධිකරණ යටිතල පහසුකම් නවීන ලෝකයට ගැළපෙන පරිදි වැඩි දියුණු විය යුතු බවයි. වලස්මුල්ල නව අධිකරණ ගොඩනැගිල්ල ඉදි කරමින් එය අංග සම්පුර්ණ පහසුකම්වලින් යුතුව ඉදි කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කළ අධිකරණ අමාත්‍යතුමා ඇතුළු සියලු දෙනාට ස්තූතිය පළ කරන බවත් ,නව අධිකරණ සංකීර්ණය අධිකරණයේ පිහිට පතා පැමිණෙන මෙම ප්‍රදේශයේ ජනතාවට විශාල පහසුවක් වනු ඇති බවත් අමාත්‍යතුමා සදහන් කලේය.

වලස්මුල්ල අධිකරණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, පාර්ලිමේන්තු මන්ත්‍රි උපුල් ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන්, ගරු විනිසුරුවරුන්තුමන්ලා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා, ගරු අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා ඇතුළු අමාත්‍යාශ නිලධාරීන්, වලස්මුල්ල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ එච්.පී.ජී.සතරසිංහ මහතා ඇතුළු වලස්මුල්ල නීතිඥ සංගමයේ සාමාජිකයින් එක්ව සිටියහ.

img-1 img-2

img-3 img-4

img-5