• සහජීවනය බිද වැටීමේ සිද්ධියක් වුවහොත් පිළිබදව ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් කඩිනමින් දැනුවත් කිරීමටත් හැකි වන ක්‍රමවේදයක් සංහිදියා කමිටු හරහා ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා.
  • බලයේ සිටි සියලු ආණ්ඩු සාමය සහ සංහිදියාව ගොඩ නැගීම සදහා අවශ්‍ය කරන අවංක උත්සාහයක් ගෙන තිබුණේ නැහැ.


අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

සැප්තැම්බර් මස 21 වන දිනට යෙදී තිබු ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් ( ජාත්‍යන්තර සාම දින උත්සවය - 2023) අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලය ජාත්‍යන්තර සාම දිනයට සමගාමී සංවිධානය කළ ජාත්‍යන්තර සාම දින උත්සවය ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මියගේ සහභාගිත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී අද (22 ) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
සාමය සියලු ජන කොටසකටම රටකටම වගේම සමස්ත ලෝකයටම ඉතා වැදගත් කරුණක් බව අපි සියලු දෙනා දන්නා කරුණක්. සාමය සංහිදියාව ඇති කළ යුත්තේ පහල සිට ඉහලටයි, ඒ කියන්නේ ග්‍රාමීය මට්ටමේ සිටයි. ඒ නිසා අපි සියලු ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි සංහිදියා කමිටු පිහිටුවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ මේ වන විට ග්‍රාම සේවා වසම් 14022 ක් සංහිදියා කමිටු ස්ථාපිත කළා. සහජීවනය ග්‍රාමීය මට්ටමින් ස්ථාපිත කිරීම සදහා ආගමික නායකයින්ට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. විශේෂයෙන් අපේ අනාගත පරපුර මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීමෙන් වළක්වා ගැනීමට අපි කටයුතු කළ යුතුයි. ඒ සදහා ග්‍රාමීය සහජීවන කටයුතු කළ යුතුයි. ආගම් හා ජාතීන් අතර ග්‍රාමීය වශයෙන් සහජීවනය බිද වැටීමේ කිසියම් සිද්ධියක් ඇති වුවහොත් එවැනි දේ ඇති නොවීමටත් ඒ පිළිබදව ඉහළ පෙලේ රාජ්‍ය තන්ත්‍රය කඩිනමින් දැනුවත් කිරීමටත් හැකි වන පරිදි ක්‍රමවේදයක් සංහිදියා කමිටු හරහා ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සදහා ජාතික සමගිය හා ප්‍රති සංධානය සදහා වු කාර්යාලය ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් කරනවා. ඉතිහාසයේ අපේ රටේ අවස්ථා කිහිපයකදී ලේ වැගිරීම් සිදු වු අවස්ථා තිබෙනවා. 1971, 1988 මේ රටේ භීෂණයක් තිබුණා.

වසර තිහක කාලයක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හේතුවෙන් ජනතාව පීඩා වින්දා. අපේ රටේ බලයේ සිටි සියලු ආණ්ඩු සාමය සහ සංහිදියාව ගොඩ නැගීම සදහා අවශ්‍ය කරන අවංක උත්සාහයක් ගෙන තිබුණේ නැහැ.

පසුව 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වුණා. මේවා වළක්වන්න අපිට අපේ රටේ නායකයින්ට වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. මේ සියලු සිද්ධින් වළක්වන්න අවස්ථාව අපිට තිබුණා. එහෙම කියලා අපි අතීතය ගැන කථා කරලා වැඩක් නැහැ. ඉදිරියේදී එවැනි දේ සිදු නොවීම සදහා කටයුතු කළ යුතුයි.

තරුණ පරපුර අපේ රටේ ශක්තියයි. ඒ අයට සුරක්ෂිත රටක් ලෙස මේ රට පරිවර්තනය කළ යුතුයි. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි මේ සියලු ආගම්වල සාමයෙන් සංහිදියාවෙන් කටයුතු කිරීමේ ඇති වටිනාකම පැහැදිලි කර තිබෙනවා. සියලු දෙනා තම ආගමික ඉගැන්වීම අනුව සාමකාමී දේශයක් ගොඩනැවීම සදහා එක්ව කටයුතු කළ යුතු බව ද අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේය.

ජාත්‍යන්තර සාම දිනය සමරමින් ජාතික සමගිය පිළිබඹු වන ආකාරයේ විවිධ වැඩ සටහන් සංවිධානය කර තිබු අතර, අධිකරණ අමාත්‍යතුමාගේ සහ ජාතික සමගිය හා සංහිදියාව පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් සංවාද මණ්ඩපයක් සංවිධානය කර තිබු අතර, සංහිදියාව පිළිබදව ජනතාවට පවතින ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාව එහිදී ලබා දී තිබුණි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චංග්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රති සංස්කරණ අමාත්‍යාශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මීන් මෙහිදී අදහස් පළ කළ අතර, මහා සංඝ රත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්, ජාතික සමගිය හා සංහිදියාව පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( ඒකාබද්ධතා) ආර්.පී.එස්.සමන් කුමාරී, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලයේ සභාපති ජේ.ජේ.රත්නසිරි, එහි අධ්‍යක්ෂ දීප්ති ළමා හේවා මහත්වරුන්, ග්‍රාමීය සංහිදියා කමිටු සාමාජිකයින් ජාත්‍යන්තර සාම දින උත්සවය සදහා එක්ව සිටියහ.
ජාත්‍යන්තර සාම දිනයට සමගාමීව ගැටුම් වැළැක්වීම සහ නිරාකරණයට අවශ්‍ය පසුබිම සකස් කර ප්‍රජාව බල ගැන්වීම අරමුණු කර ගනිමින් සිවිල් සංවිධාන සහ විෂය ප්‍රවීණයන් පොදු ජනතාව සම්බන්ධ කරගත් සංවාද මණ්ඩප, ජාත්‍යන්තර සාම දින උත්සව පරිශ්‍රයේ තබා ඇති පුවරුවක ජාතික සමගිය පිළිබදව අදහස් සටහන් කිරීමේ සමරු පවුර, කලාව තුළින් සංහිදියාව විදහා දක්වන සිත්තම් පවුර වැඩ සටහන, සංහිදියාව පිළිඹිබු වන ආකාරයට පාසල් විශ්ව විද්‍යාල හා විවෘත අයුරින් සේයාරූ, සිතුවම්,කවි නිර්මාණ තරග, චිත්‍රපට ප්‍රදර්ශන හා සංවාද, මෙරට හදුනාගත් විවිධ ජන වර්ග 21 ක් සහ ඔවුන්ට ආවේණික සංස්කෘතික විචිත්‍රත්වය භාෂා රටා ආගමික වටිනාකම් ආහාර සහ ආවේණික ඇදුම් ප්‍රදර්ශනය කෙරෙන කුටි 21 ක් එකම ස්ථානයක දැක ගැනීමට අවස්ථාව ද සංවිධානය කර තිබිණි.

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලය විසින් විශ්ව විද්‍යාල හා පාසල් සිසුන් අතර ජාතික මට්ටමින් පැවැත්වු චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් සදහා ත්‍යාග සහ සහතික ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

moj event 09 21 img 1 moj event 09 21 img 2

moj event 09 21 img 3 moj event 09 21 img 4

moj event 09 21 img 5