අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් එස්.ඊ. ස්චල්ක් (S.E.Schalk) මහතා අතර හමුවක් අද පෙරවරුවේ (2022.12.15) අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිණි.

දෙරට අතර ද්වි පාර්ශ්වික සහයෝගීතාවය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් මෙම හමුව පැවති අතර ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සදහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම හා මෙරට නීති පද්ධතියේ සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ පිළිබදව මෙහිදී සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තවදුරටත් තහවුරු කිරීමට හා මෙරට මානව හිමිකම් කොමිෂන් සභාව ශක්තිමත් කිරීමට මෙන්ම මෙරට නීති පද්ධතියේ ප්‍රතිසංස්කරණ සදහා අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව මෙහිදී මහ කොමසාරිස්වරයා සදහන් කළේය.

යුද්ධයෙන් පසුව ජාතීන් අතර සාමය හා සංහිදියාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යනු ලබන සංහිදියා වැඩ පිළිවෙළ අගය කරන අතරම එය තවදුරටත් විධිමත්ව සිදු කිරීම සදහා තම රටේ අත්දැකීම් ද සමගින් අවශ්‍ය සහයෝගය ලබා දීමට සුදානම් බව මහ කොමසාරිස්වරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය පිළිබදව අධිකරණ අමාත්‍යතුමා විසින් මහ කොමසාරිස්වරයා දැනුවත් කළ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් විධිමත්ව නිදහස් කිරීමට කටයුතු කරන බවත්, මෙරට නීති පද්ධතිය ශක්තිමත් කිරීම සදහා පසුගිය මාස කිහිපය තුළ පනත් 17 ක් සම්මත කර ගෙන ඇති බවත්, ඉදිරි සති කිහිපය තුළ තවත් පනත් කිහිපයක් සම්මත කර ගැනීමට නියමිත බවත්, ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු සදහා දකුණු අප්‍රිකානු රජය ලබා දෙන සහයෝගය අගය කරන බවත්, අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු නියෝජ්‍ය මහ කොමසාරිස් Rene Everson – Varney මහත්මිය හා අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හිරණ්‍යා පෙරේරා මහත්මිය එක් විය.

moj mt sac 12 15 img 1