අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලයෙහි ප්‍රගතිය විමසා බැලීමේ හා එම ආයතනය විසින් ඉදිරියේදී දියත් කිරීමට නියමිත වැඩ සටහන් පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (2022.08.19) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලය විසින් සිදු කරන ලද වැඩ සටහන් හා ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂා කරනු ලබන මහජන හිතවාදී වැඩ සටහන් පිළිබදව එම ආයතනයෙහි ප්‍රධානීන් විසින් අමාත්‍යතුමා දැනුවත් කිරීම සිදු කරන ලදී.

සාමාන්‍ය පොදු මහ ජනතාවට උපරිම ප්‍රතිලාභයන් හිමි වන ආකාරයට මෙම ආයතනය කටයුතු කිරීමේ ඇති වැදගත්කම අමාත්‍යතුමා විසින් මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළ අතර ඒ සඳහා සිදු කරන සියළු කටයුතු ගම් මට්ටමින් ආරම්භ විය යුතු බව අමාත්‍යතුමාගේ ස්ථාවරය විය.

යම් පුද්ගලයෙකුගේ ජාතිය, ආගම, භාෂාව, කුලය, ලිංග භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන කරුණු මත කිසිදු වෙනසකට භාජනය නොවෙමින් සමානාත්මතාවයෙන් යුතුව සාධාරණ සමාජයක් තුළ සිය ආත්ම ගරුත්වය සහ අභිමානය සහිතව ජීවත් වීම සදහා අවශ්‍ය වන ආර්ථික, දේශපාලනික, සමාජයීය සහ සංස්කෘතිකමය පරිසරය නිර්මාණය කර පවත්වාගෙන යාම පිණිස ජාතික වශයෙන් ක්‍රීයාත්මකවන්නා වූ වැඩපිළිවෙලක අවශ්‍යතාවය පිළිබඳව අමාත්‍යතුමා දැඩිලෙස අවධානය යොමුකල අතර ඒ වෙනුවෙන් ඉදිරි කාලය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසත් එම ක්‍රියාකාරකම් දිවයිනේ සියළු පළාත් ආවරණය වන පරිදි කිසිදු පළාතකට, ජාතියකට හෝ ආගමකට අසාධාරණයක් සිදු නොවන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්නා ලෙසත් අමාත්‍යතුමා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලයේ සභාපති ජේ.ජේ.රත්නසිරි මහතා, එම කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් දීප්ති ළමාහේවා මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී විය.

NationalUnity1NationalUnity2

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු මහ කොමසාරිස් Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිණි.

ඉන්දුනීසියානු නිදහස් දිනය සැමරීම වෙනුවෙන් එළඹෙන 24 වැනි දින ශ්‍රි ලංකාවේ ඉන්දුනීසියානු මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවීම සදහා අධිකරණ අමාත්‍යතුමාහට ආරාධනා කිරීමද මෙහිදි සිදු විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවතින ද්වී පාර්ශ්වීක සබදතා තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව සාකච්ඡාවේදී අවධානය යොමු විය.

දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වයක් පවතින බවත්, ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ඉන්දුනීසියානු රජයේ සහයෝගය අතිශයින් වැදගත් බවත්, අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.

ආර්ථික හා දේශපාලනික වශයෙන් දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සදහා ඉදිරියේදීත් කටයුතු කරන බවත්, අවශ්‍ය සෑම අවස්ථාවකදීම තම රටෙහි සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවත්, මහ කොමසාරිස්වරිය එහිදී පැවසුවාය.

moj 08 22 img 2

  • ජනතාව තුළ පවතින වහල් මානසිකත්වය දුෂිත දේශපාලනය ක්‍රමයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක්.
  • යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පවතින මැතිවරණ සහ දේශපාලන පක්ෂ ක්‍රමය වෙනස් විය යුතුයි.
  • අපේ රටේ කාන්තාවන් පිළිබදව කථා කිරිමේදී ඇතැම් ක්ෂේත්‍රවලින් ඉදිරියට පැමිණිම සතුටුදායකයි.

                                                                                              අධිකරණ ඇමති පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කොල්ලුපිටිය Movenpick හෝටලයේ පැවති ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (National Democratic Institute ) විසින් සංවිධානය කළ කාන්තා අයිතීන් පිළිබදව දැනුම හුවමාරුකර ගැනීමේ වැඩමුළුවක් සදහා ඊයේ දින පෙරවරුවේ (2022.08.17)  එක්වෙමිනි.

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, දේශපාලනයේදී කාන්තාවන්ට මුහුණපාන හිංසනයන් පිටුදැකීම, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතීන් ආරක්ෂා කිරීම , කාන්තාවන්ට සිදු වන විවිධ හිරිහැර පීඩාවන් සිදු වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණී.

කාන්තා හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබදව මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ කාන්තාව පිළිබදව කථා කිරීමේදී ඇතැම් ක්ෂේත්‍රයන්ගෙන් ශ්‍රී ලාංකීක කාන්තාවන් ඉදිරියට පැමිණීම පිළිබදව සතුටු විය හැකි බවයි.

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි කිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි වු බවත්, අධිකරණ ක්ෂේත්‍රය නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම වෙනත් උසස් ආයතන පිළිබඳව සළකා බැලීමේදී කාන්තාවන් උසස් තනතුරු දරමින් කටයුතු කරන බවත්, අමාත්‍යතුමා සදහන් කළේය.

අපේ පැවති මිනිස් ගතිගුණ පිරිහීම හේතුවෙන් ගෞරවයෙන් ආරක්ෂා කළ යුතු දේ නීතීයෙන් ආරක්ෂා කිරීමට සිදුව ඇති බවත්, නීතිය පිළිබදව පාසල් ළමුන්ට දැනුම ලබාදීම අරමුණු කර ගනිමින් ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට නීති අධ්‍යාපනය ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යතුමා පැවසීය.

නීතිමය වශයෙන් ක්‍රමවේදයන් සකස් කිරීමටත් වඩා ආකල්පමය හා පවතින දේශපාලන ක්‍රමවේදය වෙනස් කළ යුතුව ඇති අතර ඒ සදහා මැතිවරණ හා පක්ෂ දේශපාලන ක්‍රමවේදය වෙනස් කළ යුතුව ඇති බවත්, පවතින දේශපාලන ක්‍රමය නිසාම නිවැරදි වෘත්තිකයන්ට මෙන්ම කාන්තාවන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට හා දේශපාලනයට ක්ෂේත්‍රයට පිවිසීමට නොහැකි වී ඇතැයි ද සදහන් කළේය.

ජනතාව තුල පවතින වහල් මානසිකත්වය දූෂිත දේශපාලන ක්‍රමයක් බිහිවීමට ප්‍රධාන කරුණක් වී ඇති බව පෙන්වා දුන් අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේ යහපත් දේශපාලන සංස්කෘතියක් ඇතිවීම තුළින් හිංසනයෙන්,ප්‍රචණ්ඩත්වයෙන් තොරව කාන්තාවන් ඇතුළු සියලු දෙනාට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිමින් කටයුතු කළ හැකි බවයි.

පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රිවරියන්ගේ සංගමයේ සභාපතීනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිනී මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, National Democratic Institute ආයතනයේ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා නියෝජිත තුසිතා පිලපිටිය, යන මහත්මීන් මෙහිදී අදහස් පළ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කවිරත්න මහත්මිය සූම් තාක්ෂණය ඔස්සේ වැඩමුළුව සදහා එක් විය.

Women rightWomen right2

දුෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සදහා පත් කර ඇති කමිටුවේ විශේෂ සමාලෝචන රැස්වීමක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  2022.08.17 දින පස්වරුවේ පැවැත්විණි .

නව පනතෙහි අන්තර්ගත කරුණු පිළිබදව මෙහිදී  සාකච්ඡා වු අතර පනත කඩිනමින් සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය විය.

 දුෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පදනම් කර ගනිමින් නව පනත සකස් කිරීම සිදු කෙරෙන අතර, මෙම සාකච්ඡාව සදහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියහ.

Anti curruption 1Anti curruption 2

MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග, වන්දි ලබාදී ඇති ආකාරය හා අදාළ ආයතන විසින් මේ සම්බන්ධව ඉදිරි කටයුතු කරනු ලබන ආකාරය පිළිබදව විශේෂ සාකච්ඡාවක් ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගරු නීතිපති ජනාධිපති නීතීඥ ගරු සංජය රාජරත්නම් මහතාගේ හා අදාළ ආයතනයන්හි රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් (2022.08.10) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මේ සම්බන්ධව මේ වන විටත් ගෙන ඇති නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපති සංජය රාජරත්නම් මහතා විසින් කරුණු ඉදිරිපත් කළ අතර, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය විසින් පරිසරයට වු හානිය සම්බන්ධව සකස් කළ වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් හා මුහුදු වෙරළ පිරිසිදු කිරීම, නැවේ ගින්න හේතුවෙන් මුහුදු වෙරලට පැමිණි අප ද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබදව කරුණු පැහැදිලි කළේය.

මේ සම්බන්ධව මෙතෙක් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගයන් හා වන්දි ලබා ගැනීම ඇතුළු කටයුතු ප්‍රමාදයකින් තොරව කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර මෙම සිද්ධිය මහ ජනතාවගේ හා විවිධ පාර්ශවයන්ගේ අවධානය යොමු වු කරුණක් බැවින් ඔවුන් මේ පිළිබදව අවධානයෙන් යුතුව සිටින බව සදහන් කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විකුම් ද අල්විස් ,අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීතී) පියුමන්ති පීරිස්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හසන්ති ඔරුගොඩවත්ත, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ , වෙළද නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් සෙනෙවිරත්න, හාර්බර් මාස්ටර් කැප්ටන් නිර්මාල් සිල්වා, මහාචාර්ය ප්‍රිශාන්ති ගුණවර්ධන, ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ධම්මික රණතුංග යන මහත්ම මහත්මීන් හා අධිකරණ අමාත්‍යාංශය, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය, වරාය අධිකාරිය , සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙළද නාවික ලේකම් කාර්යාලය හා නාරා ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියහ.

meeting 8 11 img 1 meeting 8 11 img 2

meeting 8 11 img 3