අභියෝග හමුවේ වුවද 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම පිළිබදව ප්‍රසාදය පළ කරනවා.
සංහිදියාව ගොඩ නැංවීම සදහා රජය විසින් උතුරු නැගෙනහිර සිදු කරනු ලබන කාර්ය භාරයන් විශිෂ්ටයි.
නව දුෂණ විරෝධි පනතක් ගෙන ඒම සදහා ශ්‍රී ලංකා රජය තීරණය කිරීම අගය කරනවා.


අධිකරණ ඇමති හමු වී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනීය පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් ( Julie Chung) මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ ( 2022.11.03) සිදු විණි.


විවිධ ආකාරයේ අභියෝගයන් හමුවේ වුව ද ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සදහා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම හා වර්තමානයට ගැළපෙන පරිදි නීති පද්ධතිය යාවත් කාලීන කරමින් නව පනත් රාශියක් සම්මත කිරීම පිළිබදව ප්‍රසාදය පළ කරන බව ද තානාපතිනිය සදහන් කළාය.


විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ සිදු වන දුෂණ වැළැක්වීම සදහා නව දුෂණ විරෝධි පනතක් ගෙන ඒම හා ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයන් තානාපතිනියගේ ඇගයීමට ලක් විය.


දෙරට අතර පවතින සුහදත්වය තවදුරටත් වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව මෙම හමුව පැවති අතර මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නව ස්ථානයක ස්ථාපිත කර විවෘත කිරීමේ උත්සවය සදහා සහභාගිවීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යතුමාට හා නව කාර්යාලය ස්ථාපිත කිරීමේ කටයුතු සදහා ශ්‍රී ලංකා රජය ලබා දුන් සහයෝගයට ස්තූතිය පළ කරන බව තානාපතිනීය මෙහිදී සදහන් කළාය.


උතුරු නැගෙනහිර පලාත්වල ජනතාවට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද ජංගම සේවාන් ඇතුළු සුභ සාධන වැඩ සටහන් සහ ඒවායෙහි ප්‍රගතිය තානාපතිනියගේ ඇගයීමට ලක් වු අතර, අතුරුදහන් වු බවට පැමිණිලි ලැබී ඇති පුද්ගලයින් සම්බන්ධ සියලු විමර්ශනයන් ලබන වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට අවසන් කිරීමට කටයුතු කරන බව අමාත්‍යතුමා පැවසීය.


අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ද මෙම අවස්ථාවට එක් වුවාය.

moj meeting 11 03 img 1 moj meeting 11 03 img 2