• පුද්ගලයින් වැඩි පිරිසක් බන්ධනාගාරගතව සිටින්නේ මුල් ළමා විය සංවර්ධනය නොලැබීම නිසයි.
  • දරු පරපුර මත් උවදුරින් බේරා ගතහොත් බන්ධනාගාරගත සදහා යොමු වන පිරිස අඩු කර ගත හැකියි.
  • උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ පිළිබදව සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට නියමිතයි.

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා‌ පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක විශිෂ්ට නායකත්වය උදෙසා අනාගත පරපුර රැගෙන යාමේ දීප ව්‍යාප්ත වැඩ සටහනෙහි සමාරම්භක උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (13) ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.

එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.
අපේ රටේ වටිනාම සම්පත දරු පරපුරයි. අපි එය තේරුම් ගෙන කටයුතු කළ යුතුයි.අපි දැන් සාකච්ඡා කළ යුතු වන්නේ බන්ධනාගාර ඉදි කිරීම ගැන නොවෙයි. බන්ධනාගාර වහන එක අපේ ඉලක්කය විය යුතුයි. අපේ අධ්‍යාපන ක්‍රමයේ විකෘතියක් තිබෙනවා. ඒ විකෘතිය සකස් කරන තෙක් බන්ධනාගාර වහන්න බැහැ. ඒ සදහා අපි පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් හරහා නිර්දේශ ඉදිරිපත් කළා. 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජාතික පාසල් හා පළාත් සභා පාසල් කියලා පාසල් පද්ධතිය විකෘති වුණා. මේ රටේ ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. අපේ රටේ වැඩි සංඛ්‍යාවක් පුද්ගලයින් බන්ධනාගාරගතව සිටින්නේ මුල් ළමා විය සංවර්ධනය නොලැබීම නිසයි. ඒ නිසා මුල් ළමා විය සංවර්ධනය විධිමත්ව වෙනස් විය යුතුයි. දරුවෙකුගේ බුද්ධිය වැඩීම වර්ධනය වන්නේ වයස අවුරුදු හයක් දක්වා කියලා සොයා ගෙන තිබෙනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්ලිව් .ඩබ්ලිව් හැකියි. අපේ රටේ පවතින තරගකාරී අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමින් අධ්‍යාපනයට පවතින තරගකාරීත්වය නතර කළ යුතු බවද අමාත්‍යතුමා පැවසීය.කන්නන්ගර මැතිතුමා වගේම, ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා වශයෙන් උසස් අධ්‍යාපනයේ පියා වශයෙන් හැදින්විය හැකියි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිසංස්කරණ පිළිබදව සොයා බලා අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගය පාසලේ දහය වසරේදී පැවැත්වීමට හා උසස් පෙළ විභාගය 12 වසරේදී පැවැත්වීමට නිර්දේශ කළා. දැනට පවතින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරලා ප්‍රධාන ඒකක හතරක් යටතේ ක්‍රියාත්මක වන පරිදි උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් යෝජනා කර තිබෙනවා. එමෙන්ම අපේ රටේ වෘත්තිය අධ්‍යාපනයට පවතින පිළි ගැනීම ඉහළ නැංවීම සදහා විශ්ව විද්‍යාල මට්ටමින් වෘත්තිය අධ්‍යාපනය දියුණු කිරීමට හා බුද්ධිය හා ප්‍රඥාව මුලික කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක් සදහා වු නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

මේ නව අධ්‍යාපන යෝජනා හා නිර්දේශ ක්‍රියාත්මක නොකලහොත් තවත් වසර කිහිපයක් ගත වන විට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තරගකාරී ලෝකයට මුහුණ දීම සදහා සුදුසු වන්නේ නැහැ. මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පෙර සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට නියමිතයි බව ද අමාත්‍යතුමා පැවසීය.
මේ රටේ මැතිවරණවලදී සිදු වන දුෂණ අවම කරන්න හා අල්ලසට දුෂණයට එරෙහිව අපි කටයුතු කළා .අල්ලසට දුෂණයට එරෙහිව පනත් ඉදිරිපත් කරන අවස්ථාවලදී පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව ඇතැම් අය විරුද්ධ වුණා. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමා සහ අමාත්‍යවරයා වශයෙන් මා ඒ සදහා මුහුණ දුන්නා. මත් උවදුරින් අපේ රටේ ජනතාව නිදහස් කර ගැනීමට හා සංහිදියාව ගම් මට්ටමින් ඇති කරමින් ගමේ සාමය ආරක්ෂා කිරීම සදහා සියලු ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් සංහිදියා කමිටු පිහිටුවීමට කටයුතු කළා. ඒ් යටතේ මේ වන විට සංහිදියා කමිටු දස දහසක් ස්ථාපිත කර තිබෙනවා. දරු පරපුර මත් උවදුරින් බේරා ගතහොත් හිර ගෙවල් සදහා යොමු වන පිරිස අඩු කර ගත හැකි බවද අමාත්‍යතුමා සදහන් කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව මෙරට පාසල් දරු දැරියන් විශිෂ්ට නායකයින් බවට පත් කරවීම අරමුණු කර ගනිමින් ඔවුන්ට ප්‍රායෝගික හා න්‍යායාත්මකව ඉදිරියට යාම සදහා මං පෙත් විවර කිරීම, අභියෝගයන් සදහා මුහුණ දෙමින් ගැටළු සදහා විසදුම් ලබා ගනිමින් ඉදිරියට යාම පිළිබදව දැනුවත් කිරීම, සමස්ත රටටම විශාල අභියෝගයක්ව පවතින මත් උවදුරින් දරු පරපුර බේරා ගැනීම, කාන්තාවන්ට සමාජයෙන් පැමිණෙන අභියෝගවලට මුහුණදීමේදී කන්තාවන් වෙනුවෙන් පවතින නීති පිළිබදව පාසල් දැරියන් දැනුවත් කිරීම, ගම්පොල අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන්ගේ ක්‍රිඩා කුසලතාවයන් වැඩි දියුණු කරමින් නායකත්වය සදහා යොමු කරවීම, ආගමික කටයුතුවල නිරතවීම තුළින් ආධ්‍යාත්මික ගුණ වගාවන් පෝෂණය කර ගැනීම, ගම්පොල අධ්‍යාපන කලාපයේ පාසල් තුළ විධිමත් පරිදි මාධ්‍ය ඒකක පිහිටුවීම, විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට නොහැකි දරුවන් වෘත්තිය අධ්‍යාපනය සදහා යොමු කරවීම ඇතුළු අනාගත පරපුර විශිෂ්ටයින් බවට පත් වන ආකාරයේ අරමුණු රැසක් මුලික කර ගනිමින් මෙම ජාතික වැඩ සටහන ආරම්භ කර තිබේ.

විශිෂ්ට නායකත්වය උදෙසා අනාගත පරපුර රැගෙන යාමේ දීප ව්‍යාප්ත වැඩ සටහනෙහි සමාරම්භක උත්සවයෙහි ආගමික වතාවත් වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පුජ්‍ය කඩුගන්නාවේ නන්දසිරි හිමියන් සිදු කළ අතර, වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනී ඊ.ඊ.ඒ.ඩී.කේ.කේ. එදිරිසුරිය මහත්මිය ජාතික වැඩ සටහනෙහි අරමුණ පැහැදිලි කළාය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ , ලලිත් යු.ගමගේ , අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කළ අතර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු ගම්පොල කලාපයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් දරු දැරියන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම ජාතික උත්සවයේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

moj meeting 09 13 img 01 moj meeting 09 13 img 02

moj meeting 09 13 img 03