ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට, විශේෂයෙන්ම අවදානමට ලක්වූ සහ ආන්තීකරණයට ලක්වූ කණ්ඩායම්වලට යුක්තියට ප්‍රවේශ වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් සෑම වසරකම ජූලි මස 06 වැනි දින ‘ ශ්‍රී ලංකාවේ ජාතික නීති ආධාර දිනය’ ලෙස සැමරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව පළමු වරට සංවිධානය කරන ලද ජාතික නීති ආධාර දින සැමරුම් උළෙල "කිසිවෙකු අත් නොහරින යුක්තියට ප්‍රවේශයක් " යන්න තේමා කර ගනිමින් අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.07.06 (ඊයේ) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ප්‍රධාන දේශනය හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, සරත් ජයමාන්න මහතා විසින් පවත්වන ලදී.
ජාතික නීති ආධාර දිනය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් සමරු මුද්දරය හා මුල් දින කවරය එළි දැක්වීමද මෙහිදී සිදු විය.
එක්සත් ජාතීන්ගේසංවර්ධන අරමුදලේ මෙරට නියෝජිත අෂුෂා කුබෝටා, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති නීතිඥ විවේකානන්දන් පුවිතරන්, එහි අධ්‍යක්ෂ ජනරාල් රුක්මන් ගමගේ යන මහත්ම මහත්මීන් අදහස් පළ කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ සහ මහාධිකරණ විනිසුරුවරුන්, නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත දොඩාවත්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසුරිය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.








