Accessibility Tools

moj logo

Open menu

හැඳින්වීම

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා විධිමත් නීතිමය වැඩපිළිවෙලක් හඳුන්වා දීම මඟින් අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත යටතේ, අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය පිහිටුවා ඇත.ඒ අනුව බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 428/11ඒ දරණ ස්ථානයෙහි පිහිටුවනු ලැබූ මෙම අධිකාරිය අතිගරු ජනාධිපතිතුමා විසින් 2016.01.08 වන දින විවෘත කරන ලදි.

පසුව අංක 1966/02 හා 2016.05.09 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය මඟින් උක්ත අධිකාරියෙහි විෂය පථය 2016.04.27 දින සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ අමාත්‍යංශය වෙත පවරා ඇත.ඒ අනුව ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් අංක 1967/8 හා 2016.05.16 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය මඟින් 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීම පනතෙහි සියළු කොටස් වල විධිවිධාන 2016.05.18 දින සිට ක්‍රියාත්මක කිරීමට නියම කර ඇත.

පනතෙහි IV වන කොටසෙහි 12(1) වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව 2016.08.11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය පත්කර ඇත. මෙම කළමනාකරණ මණ්ඩලය අපරාධවේදය, අපරාධ යුක්ති පද්ධතිය, මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරිම හෝ වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත හෝ ඒ හා සම්බන්ධිත වෘත්තීන් වල අධ්‍යාපනික හෝ වෘත්තිමය ක්ෂේත්‍රවල අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුසුකම් ලත් සහ පළපුරුද්දක් ඇති තැනැත්තන් අතරින් ජනාධිපතිවරයා විසින් තෝරා පත් කරනු ලබන සාමාජිකයින් පස් දෙනෙකුගෙන් හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, පොලිස් දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්, කාන්තා කටයුතු විෂය හා ළමා කටයුතු විෂය භාර අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශවල ලේකම්වරු හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන් හා මානව හිමිකම් කොමිෂන් සභාවේ සමාජිකයෙකු, නීතිපතිවරයාගේ නාමිකයෙකු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ධූරය දරන පොලිස්පතිවරයාගේ නාමිකයෙකු ඇතුළත්වන පරිදි නිල බලයෙන් පත්වන සාමාජිකයන් හත් (7) දෙනෙකුගෙන් ද සමන්විත වේ. අතිගරු ජනාධිපතිතුමා විසින්, මණ්ඩලයේ පත් කළ සාමාජිකයෙකු වන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුහද කේ ගමලත් මහතා කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා හා අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.

බලතල හා කාර්යභාරය

පනතේ 11 වගන්තිය යටතේ පිහිටුවන ලැබූ මෙම ජාතික අධිකාරියේ බලතල හා කාර්යභාරය පහත සඳහන් පරිදි සංක්ෂිප්තව දැක්විය හැකිය.

  1. බලාත්මක කිරීමේ කාර්යභාරය - අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ හිමිකම් හා අයිතිවාසිකම් හඳුනා ගැනීම, ප්‍රවර්ධනය කිරිම, ආරක්ෂා කිරිම හා දැනුවත් කිරීම.
  2. අර්ධ අධිකරණ කාර්යභාරය - ඔවුන්ගේ හිමිකම් හා අයිතිවාසිකම් කඩවිම් පිළිබඳ පැමිණිලි විමර්ෂණ කිරීම හා පරීක්ෂා කිරීම, රාජ්‍ය ආයතන වලට, රාජ්‍ය නිලධාරීන්ට හා අධිකරණයට නිර්දේශ ඉදිරිපත් කිරීම.
  3. ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය - අපරාධයක වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සැලසීම
  4. නියාමන කාර්යභාරය - නියමු උපදේශන නිකුත් කිරීම හා අධික්ෂණය

අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාශය

2015 අංක 4 දරණ පනතෙහි පිහිටුවන ලබන අනෙකුත් විශේෂිත ඒකකය වනුයේ ජාතික අධිකාරියේ උපදේශනය හා මඟපෙන්වීම මත ශ්‍රී ලංකා පොලිසිය යටතේ පිහිටුවන ලබන “අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාශය” ලෙස හැඳින්වෙන විශේෂ ඒකකයයි. පනතේ 19 (2) වගන්තිය යටතේ කළමනාකරණ මණ්ඩලයට නිළ බලයෙන් පත් කෙරෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියා කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයෙකු මෙම කොට්ඨාශය භාර ප්‍රධානියා ලෙස පත්කල යුතුය.

අපරාධයක වින්දිතයෙකුට සහ සාක්ෂිකරුවෙකුට පනත යටතේ ආරක්ෂාව ඉල්ලුම් කළහැකි ආයතන

  • අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය
  • අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාශය
  • අධිකරණය
  • කොමිසම - (මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කිරීමේ කොමිසම් සභාව සහ පරීක්ෂණ  කොමිෂන්  සභා පනත් යටතේ පත් කරනු ලබන  පරීක්ෂණ කොමිෂන් සභා හෝ ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභා)       
  • ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති වරයාට

වැඩි විස්තර සඳහා ආයතනයේ වෙබ් අඩවියට පිවිසීමට : අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 42.2% Sri Lanka
China 24.8% China
Singapore 15.7% Singapore
United States of America 7.4% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
066278
Today: 91
This Week: 6,318
This Month: 18,788
This Year: 66,223

Last Modified:
08 January 2026