- බන්ධනාගාරය යනු සමාජයෙන් වෙන්වු වෙනම ලෝකයක් නොව එය අපේ සමාජයේම ප්රතිබිම්බයක්.
- නීතියේ ආධිපත්යයත්, මහජන ආරක්ෂාවත්, රැඳවියන්ගේ මානුෂික අයිතිවාසිකම් සහ ගෞරවයත් ආරක්ෂා වන බන්ධනාගාර පද්ධතියක් ගොඩනැඟීම අරමුණයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් සිරසර ශිල්ප 2026 කර්මාන්ත හා අලෙවි ප්රදර්ශනයේ සමාරම්භක උත්සව අවස්ථාවට බත්තරමුල්ල දියත පරිශ්රයේදී අද ( 27) පෙරවරුවේ එක්වෙමිනි.
එහිදී අදහස් පළ කළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යතුමා ..............................
අද මම මෙතැනට පැමිණියේ නිෂ්පාදන අලෙවි කිරීමේ උත්සවයකට සහභාගි වීමට පමණක් නොවෙයි. මේ අවස්ථාව මට පෙනෙන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තිබෙන අවස්ථාවක් ලෙසයි.
අද අපි දකින්නේ භාණ්ඩ කිහිපයක් පමණක් නොවෙයි. මේ සෑම නිෂ්පාදනයක් පිටුපසම කෙනෙකුගේ මහන්සියක් තිබෙනවා. අලුතින් යමක් ඉගෙනගැනීමක් තිබෙනවා. තමන්ටත් යමක් කළ හැකියි කියන විශ්වාසය නැවත ඇති කරගැනීමේ උත්සාහයක් තිබෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් දෙයක් බව කිව යුතුයි.
අපි සාමාන්යයෙන් බන්ධනාගාරයක් ගැන කතා කරන විට සිතන්නේ එහි සිටින පුද්ගලයන් කළ වැරදි ගැනයි. ඔවුන්ට ලැබිය යුතු දඬුවම ගැනයි. නමුත් ඒ කතාව ඇතුළේ අපට අමතක වන තවත් පැත්තක් තිබෙනවා. මේ බන්ධනාගාර තුළ සිටින්නේත් අපේම සමාජයේ ජීවත් වූ මිනිසුනුයි .
ඔවුන්ටත් පවුල් තිබෙනවා. මවක්, පියෙක්, බිරිඳක්, සැමියෙක්, දරුවෙක් හෝ සහෝදරයෙක් සිටිනවා. ඔවුන් ගැන බලාපොරොත්තු තබාගෙන සිටින අය සිටිනවා. තමන්ගේ ජීවිතය නැවත යහපත් කරගන්න කැමැත්තෙන් සිටින අයත් ඒ අතර ඉන්නවා. ඒ නිසා අපි මේ ප්රශ්නය දෙස බලන්න ඕනෑ නීතියේ පැත්තෙන් පමණක් නොවෙයි. මනුෂ්යත්වයේ පැත්තෙනුත් බලන්න ඕනෑ.
බන්ධනාගාරය කියන්නේ අපේ සමාජයෙන් වෙන්වුණු වෙනම ලෝකයක් නොවෙයි. එය අපේ සමාජයේම ප්රතිබිම්බයක්. අපේ සමාජයේ තිබෙන දුප්පත්කම, අධ්යාපන අවස්ථා නොලැබීම, පවුල්වල ගැටලු, මත්ද්රව්යවලට ඇබ්බැහි වීම, රැකියා විරහිතභාවය සහ ජීවිතයට නිසි මඟපෙන්වීමක් නොලැබීම වැනි ගැටලු සමහර පුද්ගලයන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් කරනවා.
මේ සියලු දේ අපරාධයක් සාධාරණීකරණය කිරීමට හේතු කරගත යුතු නැහැ. නීතිය කඩ කළ කෙනෙක් නීතිය ඉදිරියේ වගකිව යුතුයි. අපරාධයකින් පීඩාවට පත් වූ පුද්ගලයාට යුක්තිය ඉටු විය යුතුයි. ඒ ගැන අපට කිසිම විවාදයක් නැහැ. නමුත් අපි තවත් ප්රශ්නයක් අපෙන්ම අසාගත යුතුයි.
යම් පුද්ගලයෙක් වැරදි මාර්ගයකට යොමු වීමට පෙර, ඔහු ජීවත් වූ පරිසරය ගැන අප සමාජයක් ලෙස කොපමණ අවධානයක් යොමු කළාද? ඔහුට යහපත් ජීවිතයක් ගොඩනඟා ගැනීමට අවශ්ය අවස්ථා අප ලබාදුන්නාද? ඔහු වැරදි තීරණයක් ගත් පසු, ඒ වරදින් පාඩමක් ඉගෙනගෙන නැවත ජීවිතය ගොඩනඟා ගැනීමට අපි අවස්ථාවක් ලබාදෙනවාද? අපි මේ ප්රශ්න ගැන අවංකව සිතා බැලිය යුතුයි.
කෙනෙකුට දඬුවමක් ලබාදීමෙන් ඔහු කළ වරදට නීතිය අනුව ප්රතිචාර දක්වන්න පුළුවන්. නමුත් ඔහු නැවත සමාජයට පැමිණෙන විට යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්ය පරිසරය සකස් නොකළොත්, අපේ සමාජය ලෙස අපි අපේ වගකීම සම්පූර්ණයෙන් ඉටු කර තිබෙනවාද කියන ප්රශ්නය ඉතිරි වෙනවා.
අපේ රජයේ අපේක්ෂාව වන්නේ එම වගකීමෙන් පලා යාම නොවෙයි. නීතිය ක්රියාත්මක කරන අතරම, වැරදි කළ පුද්ගලයන්ට තම ජීවිතය වෙනස් කරගැනීමටත්, නැවත සමාජයට යහපත් පුරවැසියන් ලෙස එක්වීමටත් අවස්ථා සලසා දීමයි. පුනරුත්ථාපනය කියන්නේ එයයි.
මම හිතන්නේ පුනරුත්ථාපනය කියන වචනයේ සැබෑ අර්ථය අපි තේරුම් ගත යුතුයි. එය බන්ධනාගාරයේ සිටින කෙනෙකුට කාලය ගත කිරීමට යම් කාර්යයක් ලබාදීම පමණක් නොවෙයි. තමන්ට වටිනාකමක් තිබෙන බව දැනෙන්න සැලැස්වීමයි. අලුත් දෙයක් ඉගෙනගැනීමට අවස්ථාව ලබාදීමයි. තමන්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කරගැනීමට උපකාර කිරීමයි. අද අපි මේ අලෙවි කරන්නේ ඒ බලාපොරොත්තුවේ එක් ප්රතිඵලයක් ලෙසයි.
මෙහි නිෂ්පාදනයක් කරන පුද්ගලයෙක් තමන්ගේ දෑතින් යමක් නිර්මාණය කරන විට, ඔහුට හෝ ඇයට දැනෙන හැඟීම අපට තේරුම් ගන්න පුළුවන් විය යුතුයි. තමන්ටත් යමක් කළ හැකියි, තමන්ටත් අලුත් දෙයක් ඉගෙනගත හැකියි, තමන්ගේ මහන්සියෙන් වටිනා දෙයක් බිහිකළ හැකියි කියන හැඟීම පුනරුත්ථාපනයේ ඉතාමත් වැදගත් කොටසක් වෙනවා.
ඒ නිසා මේ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. නිෂ්පාදනයක් කිරීමෙන් පසුව එය අලෙවි කරගැනීමටත් අවස්ථාව තිබිය යුතුයි. නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කළ යුතුයි. නව වෙළෙඳපොළ හඳුනාගත යුතුයි. නිදහස ලැබීමෙන් පසුවත් තමන් ඉගෙනගත් කුසලතාවෙන් ජීවිකාවක් සලසා ගැනීමට හැකි මාර්ග සකස් කළ යුතුයි. එවිට මේ වැඩසටහන් බන්ධනාගාරය තුළට පමණක් සීමා නොවී, රැඳවියන්ගේ අනාගත ජීවිතයටත් සම්බන්ධ වෙනවා.
අපට නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිතයෙන් විශාල පාඩමක් ඉගෙනගත හැකියි. මැන්ඩෙලා වසර 27ක් බන්ධනාගාරගතව සිටියා. ඔහුගේ ජීවිතයේ ඒ දීර්ඝ කාලය තුළ ඔහු මුහුණ දුන් අත්දැකීම් අපි දන්නවා. නමුත් ඔහුගේ ජීවිතය ලෝකයට කියාදුන් වැදගත් පාඩමක් තිබෙනවා. මිනිසෙකුගේ අනාගතය තීරණය කිරීමේදී ඔහුගේ අතීතය පමණක් නොබලා, ඔහුට වෙනස් වීමට සහ යහපත් දෙයක් කිරීමට තිබෙන හැකියාවත් හඳුනාගත යුතු බවයි.
මැන්ඩෙලාගේ නමින් හඳුන්වන එක්සත් ජාතීන්ගේ බන්ධනාගාර රැඳවියන්ට සැලකීමේ අවම ප්රමිතීන් තුළත් මිනිස් ගෞරවය ආරක්ෂා කිරීම සහ රැඳවියන් නැවත සමාජයට එක්වීමට සූදානම් කිරීම අවධාරණය කරනවා.
අපි ඒ ආදර්ශය අපේ රටේ බන්ධනාගාර පද්ධතිය තුළත් ප්රායෝගිකව ක්රියාත්මක කළ යුතුයි. එයින් අදහස් කරන්නේ නීතිය ලිහිල් කිරීම නොවෙයි. වරදකට වගවීම අත්හැරීමත් නොවෙයි. වගවීම තහවුරු කරන අතරම, මිනිසෙකුට නැවත ජීවිතය ගොඩනඟා ගැනීමට අවස්ථාව ලබාදීමයි.
මේ කටයුතු ගැන කතා කරන විට බන්ධනාගාර තදබදය පිළිබඳ ප්රශ්නයත් අපට අමතක කරන්න බැහැ. අද අපේ බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන ප්රධාන අභියෝගයක් වන්නේ අධික තදබදයයි. මෙය ඉඩකඩ පිළිබඳ ප්රශ්නයක් පමණක් නොවෙයි. එය රැඳවියන්ගේ සෞඛ්යයට, ආරක්ෂාවට, මානසික යහපැවැත්මට සහ පුනරුත්ථාපන අවස්ථාවන්ටත් බලපානවා. ඒ වගේම තමන්ගේ රාජකාරි ඉටු කිරීමට කැපවී සිටින බන්ධනාගාර නිලධාරීන්ටත් විශාල අභියෝගයක් ඇති කරනවා.
මේ ප්රශ්නයට විසඳුම් සෙවීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ වෙනුවෙන් පත්කර ඇති කමිටුවේ වාර්තාව මඟින් ඉදිරිපත් කරන සාධනීය යෝජනා සැලකිල්ලට ගෙන, නීතිමය හා පරිපාලනමය වශයෙන් ක්රියාත්මක කළ හැකි නිර්දේශ ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනවා.
නඩු කටයුතුවල ප්රමාදයන් අවම කිරීම, අදාළ නීතිමය ක්රියාවලීන් කාර්යක්ෂම කිරීම, නීතියට අනුකූල විකල්ප ක්රමවේද පිළිබඳ සලකා බැලීම සහ පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීම වැනි කරුණු ඒ අතර වැදගත් වෙනවා.
අපේ අරමුණ වන්නේ බන්ධනාගාර තදබදය අඩු කිරීමේ සංඛ්යාත්මක ඉලක්කයක් පමණක් සපුරා ගැනීම නොවෙයි. නීතියේ ආධිපත්යයත්, මහජන ආරක්ෂාවත්, රැඳවියන්ගේ මානුෂික අයිතිවාසිකම් සහ ගෞරවයත් ආරක්ෂා වන බන්ධනාගාර පද්ධතියක් ගොඩනැඟීමයි. මේ සඳහා රජයට පමණක් සියල්ල කළ නොහැකියි. සමාජයේත් සහයෝගය අවශ්යයි.
බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණෙන කෙනෙකුට රැකියාවක් ලබාදීමට අපි සූදානම්ද? ඔහුට තමන්ගේ අතීතය වෙනස් කරගෙන ඉදිරියට යාමට අවස්ථාවක් ලබාදීමට අපි කැමතිද? ඔහු කළ වැරදි පමණක් මතක් කරමින් ජීවිත කාලය පුරාම ඔහුව ප්රතික්ෂේප කරනවාද? මේ ප්රශ්නවලට අපි දෙන පිළිතුරු අපේ සමාජයේ මානුෂිකත්වය මැන බැලීමට උපකාරී වෙනවා.
අපරාධයකින් පීඩාවට පත් වූ පුද්ගලයන්ට යුක්තිය ඉටු කිරීම අත්යවශ්යයි. ඒ වගේම නැවත අපරාධ සිදු නොවන සමාජයක් ගොඩනැඟීමත් අත්යවශ්යයි. පුනරුත්ථාපනයට අවස්ථා ලබාදීම ඒ දෙවැනි අරමුණ ඉටු කරගැනීමේ වැදගත් පියවරක් ලෙස සදහන් කළ හැකියි. නිෂ්පාදන විකුණුම් මිලෙන් සාධාරණ කොටසක් ශ්රමිකයින්ට යා යුතුයි. ඔවුන් බන්ධනාගාරයෙන් නිදහස්ව යන විට කිසියම් මුදලක් ඉතිරි වුවහොත් අපරාධවලට යොමුවීම වැලැක්වීමට එයත් හේතුවක් විය හැකියි. නිෂ්පාදන වෙනුවෙන් රැඳවියන්ට දැනට ගෙවන මුදලට වඩා වැඩි මුදලක් ගෙවීය හැකි ද යන්න සොයා බලා කටයුතු කරන මෙන් බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
අද මෙහි පැමිණෙන ඔබ මේ නිෂ්පාදන මිලදී ගන්නා විට ඒ ගැනත් සිතන්න කියා මම ඉල්ලා සිටිනවා. ඔබ මිලදී ගන්නේ හොඳ නිෂ්පාදනයක් පමණක් නොවෙයි. යම් පුද්ගලයෙකුගේ මහන්සියට වටිනාකමක් ලබාදෙනවා. ඔහුගේ හැකියාව හඳුනාගන්නවා. නැවත යහපත් ජීවිතයක් ගොඩනඟා ගැනීමට දරන උත්සාහයට දිරිගැන්වීමක් ලබාදෙනවා.
ඔබේ අතීතය කුමක් වුවත්, ඔබට ඉදිරියේදී යහපත් දෙයක් කිරීමට තිබෙන හැකියාව අත්හැර දමන්න එපා. අද ඔබ ඉගෙනගන්නා දේ, අද ඔබ කරන මහන්සිය, අද ඔබ තුළ ඇති කරගන්නා විශ්වාසය හෙට ඔබේ ජීවිතයට වැදගත් වෙන්න පුළුවන්. අපි රජයක් ලෙස ඒ ගමනට අවශ්ය සහයෝගය ලබාදීමට කැපවී සිටිනවා. ඒ සඳහා රාජ්ය ආයතන පමණක් නොව, පවුල් සහ සමාජයත් එක්විය යුතුයි.
සමාජයක සැබෑ ශක්තිය පෙනෙන්නේ සාර්ථක වූ මිනිසුන්ට සලකන ආකාරයෙන් පමණක් නොවෙයි. ජීවිතයේ වැරදුණු මිනිසෙකුට නැවත නැඟී සිටීමට අවස්ථාවක් ලබාදෙන ආකාරයෙනුත් එය පෙනෙනවා.
බන්ධනාගාරය යනු අපෙන් ඈත් වූ තැනක් නොවෙයි. එහි සිටින මිනිසුන් අපේ සමාජයේම කොටසක්. ඔවුන්ගේ ජීවිත යහපත් කරගැනීමට අප ලබාදෙන අවස්ථා, අවසානයේ අපේ මුළු සමාජයේම අනාගතය යහපත් කිරීමට දායක වෙනවා.
එබැවින් නීතියේ ආධිපත්යය ආරක්ෂා කරන අතරම මානුෂිකත්වයටත් ඉඩ ඇති, දඬුවම සමඟ පුනරුත්ථාපනයත් ඉදිරියට ගෙන යන බන්ධනාගාර පද්ධතියක් ගොඩනැඟීමට අපි එක්ව කටයුතු කරමු.
දිවයිනේ බන්ධනාගාර 28ක රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා විදහා දැක්වෙන සිරසර ශිල්ප 2026 ප්රදර්ශන කුටි නැරඹීමට ද කිරීම ද අමාත්යතුමා ඇතුළු සම්භාවනීය පිරිස එක් විය. සිරසර ශිල්ප 2026 නිර්මාණාත්මක ප්රදර්ශනය සහ අලෙවි සැල හෙට ( 28) සහ අනිද්දා ( 29) පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා බත්තරමුල්ල දියත පරිශ්රයේදී පැවැත්වේ.
වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ගාමිණි බී. දිසානායක මහතා සහ බන්ධනාගාර කොමසාරිස් ( කර්මාන්ත) සුජීව විජේසේකර යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කළ අතර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජයපාල, ශ්රී ජයවර්ධන පුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති අරෝෂ අතපත්තු යන මහත්වරුන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.








