අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ දුම්බර බෝගම්බර බන්ධනාගාරය සහ පල්ලේකැලේ එළිමහන් බන්ධනාගාරය මුලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමෙන් පසුව දුම්බර බන්ධනාගාරයේ නිලධාරීන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී අදහස් පළ කරමිනි. (2026.09.17)
දුම්බර බන්ධනාගාරයේ නිලධාරීන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා .......
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙත වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා හරහා ලැබී තිබෙනවා. ඔබ කරනු ලබන විශිෂ්ට සේවය වෙනුවෙන් වැටුප් හා දීමනා ඉහළ නැංවිය යුතුයි. ඉදිරි අයවැයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ විශාල නිලධාරී පුරප්පාඩු සංඛ්‍යාවක් තිබෙනවා. නිලධාරීන්ගේ සේවය මුදලින් තක්සේරු කරන්න බැහැ. බන්ධනාගාර තදබදය අවම කිරීමට සියලු පියවර ගෙන තිබෙනවා. ලබන වසරේ ජනවාරි 31 වන දින වන විට මාස තුනකට වඩා වැඩි කාලයක් රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිය නොහැකි වන පරිදි වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. මත්ද්‍රව්‍යට ඇබ්බැහිවුවන්ට සමාව දෙනවා වගේම අලෙවි කරන්න්නට කිසිම සමාවක් නැහැ. මත් ද්‍රව්‍ය සැපයුම නවතා දැමීමට අපිට හැකියාව තිබෙනවා. නමුත් ඉල්ලුම නතර කිරීමට නම් සමාජයේ සහාය අවශ්‍යයි. ඔබට ආර්ථික ගැටළු පවතින්න පුළුවන් නමුත් සමාජ විරෝධි කටයුතු කිරීමට කටයුතු කරන්න එපා. බන්ධනාගාර වෘත්තිය ගෞරවණිය වෘත්තියක් වන බැවින් සේවයේ ගරුත්වය ආරක්ෂා කර ගනිමින් බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ යුතුයි. ගෞරවය බන්ධනාගාර නිලධාරීන් අතරත් යම් යම් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සමාජ විරෝධි කටයුතු කරනු ලබන නිලධාරීන් ඉන්න පුළුවන්. කිසියම් ප්‍රතිලාභයක් වෙනුවෙන් තවත් අයෙතුගේ ජීවිතයක් විනාශ නොකළ යුතු බවද අමාත්‍යතුමා සදහන් කළේය.
නඩු කටයුතු සදහා රැදවියන් රැගෙන යාමේදී නිලධාරීන් මුහණ දෙන ගැටළු, රැදවියන්ගේ සහ නිලධාරීන්ගේ සුභ සාධන ගැටළු ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.
බන්ධනාගාරයේ පවතින තත්වය පිළිබදව නිරීක්ෂණයක ද අමාත්‍යතුමා නිරත වු අතර, එහිදී සිරකරුවන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡාව කරන ලදී.
බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්වයක් ඇති වුවහොත් හදිසි ප්‍රතිචාර දැක්වීමට සහ රැදවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව සියලු බන්ධනාගාර මුලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණ පිහිටුවීමට පියවර ගෙන තිබේ.
ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමේ අවස්ථාවට මහනුවර සහ මාතලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාරසිංහ, බ්‍රිගේඩියර් කේ. එස්. පී. පොත්තපිටිය, මහනුවර අතිරේක දිසාපති ලලිත් අම්පාවල, මැණික්හින්න ප්‍රාදේශිය ලේකම් කෞශල්‍යා දිසානායක, දුම්බර බෝගම්බර බන්ධනාගාර අධිකාරී, එල්. පී. වර්ණකුලසුරිය, එහි සහකාර බන්ධනාගාර අධිකාරී එච්.එම්.ඩී.හේරත්, පල්ලෙකැලේ සහකාර බන්ධනාගාර අධිකාරී මංගල වැලිපිටිය යන මහත්ම මහත්මීන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, නාවික හමුදාව, ගුවන් හමුදාව, ජල සම්පාදන මණ්ඩලය, ගිනි නිවීමේ හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියහ.








