ජාතික ඒකාබද්ධතා අංශය මඟින්, ජාතීන් අතර සහයෝගිතාවය සහ සහජීවනය ප්‍රතිෂ්ඨාපනය සඳහා අවශ්‍ය වැඩසටහන් හඳුන්වා දී ක්‍රියාවට නැංවීම සහ ජාතීන් අතර සංස්කෘතික, සමාජීය හා ආගමික පසුබිම අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ කරගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් ශ්‍රී ලාංකේය සමාජයේ ජීවත්වන සියලු ජනවර්ග සහ ජන කණ්ඩායම්වල උරුමයන්, අනන්‍යතාවයන් සහ සංස්කෘතීන් ආරක්ෂා කරමින් වැඩසටහන් පැවැත්වීම සිදු කරනු ලබයි.
සංවර්ධන අංශය මඟින් අධිකරණ අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනයන්හි සංවර්ධන කාර්යයන් ඉටු කිරිම හා සම්බන්ධීකරණය සිදු කරනු ලබයි.
අධිකරණ අමාත්‍යාංශයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අමාත්‍යාංශය සහ ඒ යටතේ ක්‍රියාත්මක දෙපාර්තමේන්තු සහ ආයතනවල ක්‍රියාවලීන් හා පද්ධතීන් තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම අංශය ස්ථාපිත කොට ඇත.
යුක්තිය පසිඳලීමට අදාළ නීති සදහා ප්‍රතිපත්ති සකස් කිරීම, නීති වාර්තා පලකිරීම, නීති ආධාර ලබා දීම, අපරාධ, සිවිල් සහ වාණිජ කරුණු සම්බන්ධයෙන් සහ අන්තර්ජාතික ළමා අපහරණය පිළිබඳ සිවිල් පැතිකඩයන් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගීතාවය ලබා දීම සඳහා මධ්‍යම බලධාරියා වශයෙන් කටයුතු කිරීම, 1995 අංක 05 දරණ පනත යටතේ සිරකරුවන් මාරුකිරීම, ව්‍යවස්ථාකරණය පිළිබඳ කැබිනට් අනුකාරක සභා පැවැත්වීම, සිරකරුවන්ට සමාව ප්රදානය කිරීම පිළිබඳ නිර්දේශයන් ලබා දීමත් නීති අංශය මගින් ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන කාර්යයන් වේ.







