බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් මුහුණදීමට සහ රැදවියන්ගේ සුභ සාධනය මුලික කර ගනිමින් දිවයිනේ සියලු බන්ධනාගාර තුළ ඒකාබද්ධ යාන්ත්රණයක් පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ වීරවිල එළිමහන් කදවුර මුලික කරමින් එම යාන්ත්රණය පිහිටුවීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් (19) දින පස්වරුවේ එම බන්ධනාගාර පරිශ්රයන්හිදී සිදු විය.
ඒකාබද්ධ යාත්රණයක් පිහිටුවීමේ අවශ්යතාවය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අමාත්යවරයා සඳහන් කලේ හදිසි තත්වයකට මුහුණ දීම සඳහා රාජ්ය ආයතනයන් අතර අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් කටයුතු කිරීම තුළින් හදිසි අවස්ථාවන් මනාව කලමණාකරනය කරගත හැකි බවයි.
වීරවිල එළිමහන් කදවුර තුළ කමිටුව පිහිටුවීමේ අවස්ථාවට හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි නිහාල් ගලප්පත්ති, හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් අංජලා අමාලි, බන්ධනාගාර අධිකාරී සී. එන්.ප්රනාන්දු, රියර් අද්මිරාල් එච්. එන්. එස්. පෙරේරා , තිස්සමහාරාම ප්රාදේශිය ලේකම් නිශාන්ත ඉන්දික යන මහත්ම මහත්මීන් සහ නාවික හමුදාව, පොලීසිය, ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්ය ආයතන නියෝජනය කරමින් රාජ්ය නිලධාරීන් සහභාගි විය

බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් මුහුණදීමට සහ රැදවියන්ගේ සුභ සාධනය මුලික කර ගනිමින් දිවයිනේ සියලු බන්ධනාගාර තුළ ඒකාබද්ධ යාන්ත්රණයක් පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරය මුලික කරමින් ඒකාබද්ධ යාන්ත්රණය පිහිටුවීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් (19) දින පස්වරුවේ අගුණකොලපැලැස්ස බන්ධනාගාර පරිශ්රයේදී සිදු විය.
බන්ධනාගාරයේ අධිකාරිවරයාගේ මුලිකත්වය යටතේ රාජ්ය ආයතන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම කමිටුව පිහිටුවනු ලැබූ අතර කමිටුව අවම වශයෙන් මාස දෙකකට වරක් හෝ රැස්ව බන්ධනාගාරයේ අවශ්යතා සාකච්ඡා කළ යුතු බව අමාත්යවරයා අවධාරණය කලේය.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරය තුළ ඒකාබද්ධ කමිටුව පිහිටුවීමේ අවස්ථාවට හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් අංජලා අමාලි, අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරී එච්. එන්. පී. හෙන්නායක, මාතර සහ හම්බන්තොට භාර නියෝජ්ය පොලිස්පති චාමික වික්රමසිංහ, රියර් අද්මිරාල් එච්. එන්. එස්. පෙරේරා, ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී නිපුණ දෙහිගම, කර්නල් පී. ඩබ්ලිව් කරුණාරත්න, අගුණකොලපැලැස්ස ප්රාදේශීය ලේකම් කෞෂල්යා ගලප්පත්ති යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්විය.
නීතිය පාලකයාටත්, දේශපාලනඥයාටත්, රාජ්ය නිලධාරියාටත්, සාමාන්ය පුරවැසියාටත් එකයි යන්න මතක තබාගත යුතුයි. ----- අධිකරණ ඇමති පවසයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බදවා ගත් 265 දෙනෙකුගෙන් සමන්විත 13 වන ආධුනික දෙවන පෙළ ජේලර් හා 105 වන ආධුනික නියාමක පුහුණු පාඨමාලා ද්විත්වයේ නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමිනි.
ආධුනික නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවය සහ පෙළපාලිය අගුණකොලපැලැස්ස බන්ධනාගාර පුහුණු ආයතන ක්රිඩාංගණයේ අද (19) පෙරවරුවේ පැවති අතර, එහිදී ආධුනික ජේලර් නිලධාරීන් 37 දෙනෙකු, ආධුනික කාන්තා නිලධාරීන් 05 දෙනෙකු, ආධුනික නියාමක නිලධාරීන් 197 දෙනෙකු, කාන්තා නියාමක නිලධාරීන් 25 දෙනෙකු විසිරයාම සිදු විණි.
විසිරයාමේ පෙළපාලිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආධුනික ජේලර් හා 105 වන ආධුනික නියාමක පුහුණු පාඨමාලා ද්විත්වයේ නිලධාරීන් අමතමින් අදහස් පළ කළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යතුමා .........
ගෞරවනීය රාජ්ය සේවයට එක්වන ඔබ සියලු දෙනාට මගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමනවා. තම පුතා දියණිය බන්ධනාගාර සේවයට ඉදිරිපත් කිරීම පිළිබදව දෙමාපියන් වන ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ පවුලටත් ඔබටත් ගෞරවයක් ඇතිවන ආකාරයට කටයුතු කිරීම වගකීමක් බව මතක තබා ගත යුතුයි. බන්ධනාගාර නිලධාරියෙකු කියන්නේ කවුද? සිරකරුවෙකුගේ පිටුපසින් ගොස් දොර වසා, අගුළු දමා ආරක්ෂාව බලාගන්නා පුද්ගලයෙකු පමණක්ද? නැහැ. ඊට වඩා විශාල වගකීමක් බන්ධනාගාර නිලධාරියෙකු ලෙස ඔබ භාරගන්නවා.
ඔබ නීතිය සහ මනුෂ්යත්වය අතර සිටින රැකවලුන් නිසාවෙන් ඔබ ඉදිරියේ සිටින පුද්ගලයා නීතියක් උල්ලංඝනය කර තිබෙන්න පුළුවන්. ඒ තැනැත්තා සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක විය යුතුයි. නමුත් ඒ නිසා ඒ පුද්ගලයා මනුෂ්යයෙකු වීම නතර වෙන්නේ නැහැ. සමාජයෙන් ඈත්ව සිටින, වැරදි මාර්ගයකට ගිය, ජීවිතයේ යම් අවස්ථාවක වැරදි තීරණයක් ගත් පුද්ගලයෙකුට නැවත යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අවස්ථාවක් ලබාදීමත් බන්ධනාගාර සේවයේ වගකීමක්. ඒ අවස්ථාව අද ඔබට ලැබෙනවා.
පුද්ගලයන් යහමගට ගැනීමට නීත්යානුකූල බලය ලැබෙන්නේ සමාජයේ සීමිත පිරිසකට පමණයි. ඒ නිසා ඔබේ රාජකාරිය දකින්නේ “මුරකිරීම” පමණක් නොවෙයි. මනුෂ්යයෙකුගේ ජීවිතය නැවත යහපත් මාර්ගයකට යොමු කිරීමට සහය වන්නකු ලෙසයි. ඔබේ වෘත්තියේ සැබෑ අභිමානය තියෙන්නේ එතැනයි. රාජ්ය සේවයේ සිටින අප හැමෝම මතක තබාගත යුතු මූලික කරුණක් තිබෙනවා. නීතිය කාටත් එක හා සමානයි. පාලකයාටත් එකයි. දේශපාලනඥයාටත් එකයි. රාජ්ය නිලධාරියාටත් එකයි. සාමාන්ය පුරවැසියාටත් එකයි.
නීතියේ ආධිපත්යය කියන්නේ බලය තිබෙන පුද්ගලයාට වෙනම නීතියකුත්, බලය නැති පුද්ගලයාට වෙනම නීතියකුත් තිබීම නොවෙයි. සියලු දෙනාට නීතිය සමානව ක්රියාත්මක වීමයි. එම විශ්වාසය රාජ්ය ආයතන කෙරෙහි ජනතාවගේ විශ්වාසය ගොඩනගන මූලික පදනමක්. ඒ නිසා ඔබට අවශ්ය වන්නේ දේශපාලන සම්බන්ධතාවයක් නොවෙයි. බලපෑමක් නොවෙයි.
ඔබට අවශ්ය වන්නේ නීතිය පිළිබඳ විශ්වාසය හා ඔබේ රාජකාරිය පිළිබඳ අවංකභාවයයි. ඔබ අද භාරගන්නා නිල ඇඳුම ඒ වගකීමේ සංකේතයක්. අප මතක තබාගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. අපරාධයක් සිදුවූ විට නීතිය ක්රියාත්මක කළ යුතුයි. එය අත්යවශ්යයි. නමුත් දඬුවමෙන් පමණක් සමාජයක අපරාධ ප්රශ්නය විසඳන්න බැහැ. බන්ධනාගාර ප්රතිපත්තිය දඬුවමෙන් අවසන් නොවී නිවැරදි කිරීම, පුනරුත්ථාපනය සහ නැවත සමාජගත කිරීම දක්වා ගමන් කළ යුතුයි. යමෙක් බන්ධනාගාර ගතවන්නේ තමන්ගේ වැරැද්දක් පමණක්ම නොව දීර්ඝ කාලයක් සමාජ ආර්ථික පද්ධතියේ පැවති පැවති වැරැද්දක් නිසා. සමාජය වෙනස් නොකර අපට බන්ධනාගාර පමණක් පාරිශුද්ධ ස්ථාන කරන්න බැහැ.
බන්ධනාගාරයෙන් පිටවන පුද්ගලයා නැවතත් අපරාධයකට යොමු වන තත්ත්වයකට පත් කරනවා වෙනුවට, ඔහුට නැවත ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්ය හැකියාව ලබාදීම වැදගත් වෙනවා.
රැඳවියන් සඳහා NVQ සුදුසුකම් ලබාගත හැකි වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා අවශ්ය ප්රතිපාදන ලබා දී තිබෙනවා. රැකියා අවස්ථා ලබාදීම සඳහා පෞද්ගලික අංශය සමඟ කටයුතු කිරීමත්, ස්වයං ආදායම් මාර්ග ඇති කිරීමට අවස්ථා සැලසීමත් ආරම්භ කර තිබෙනවා.
රැඳවියන්ගේ සැඟවුණු හැකියාවන් හඳුනාගෙන ඒවා ඉදිරියට ගෙන ඒම සඳහා විවිධ වැඩසටහන්ද ක්රියාත්මක වෙනවා. අප ඉදිරියේ තිබෙන අභියෝගයක් තමයි බන්ධනාගාර තදබදය. තදබදය කියන්නේ බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තිබෙන ප්රශ්නයක් විතරක් නෙමෙයි. එය රැඳවියන්ගේ මානව ගෞරවයට බලපානවා. ඔවුන්ගේ සෞඛ්යයට බලපානවා. නිලධාරීන්ගේ ආරක්ෂාවට බලපානවා. රාජකාරියේ ගුණාත්මකභාවයටත් බලපානවා. ඒ නිසා මේ ප්රශ්නයට එකම විසඳුමක් නැහැ. විවිධ පැතිවලින් එකවර කටයුතු කරන්න සිදුවෙනවා. ඒ සඳහා ජනාධිපතිවරයා සතු සමාව දීමේ බලතල, පූර්වාදර්ශ සහ නීතිමය රාමු සමාලෝචනය කරනවා.
ප්රජා පාදක විශෝධන පනත සංශෝධනය කර දඬුවම් දීමට වඩා වැරදිකරුවන් නැවත සමාජගත කිරීම සහ පුනරුත්ථාපනය කිරීම (Reintegration & Rehabilitation) කෙරෙහි ප්රමුඛතාව ලබාදීමට අවශ්ය යෝජනා ඉදිරිපත්වී තිබෙනවා. නව බන්ධනාගාර පහසුකම් ඉදිකිරීම, පවතින බන්ධනාගාර පුළුල් කිරීම සහ අවශ්ය තාවකාලික පහසුකම් සංවර්ධනය කිරීම ඒ අතර තිබෙනවා.
ඔබගෙන් අපි අවංකභාවය බලාපොරොත්තු වෙනවා. විනය බලාපොරොත්තු වෙනවා. නීතියට ගරු කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබට සාධාරණ සේවා පරිසරයක් ලබාදීමත් අපේ වගකීමක්. ඔබට අවශ්ය කාර්ය මණ්ඩලය තිබිය යුතුයි. වෘත්තීය ප්රගමනයට අවස්ථාව තිබිය යුතුයි. සුබසාධනය ආරක්ෂා විය යුතුයි.
105 වන ආධුනික නියාමක පුහුණු පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර නියාමක නිලධාරීයා වශයෙන් E.R. රසික සුමේධ, සෑම අතින්ම අතිශූර නියාමක නිලධාරිනිය ලෙස H. කවිෂා දේවින්දි, සෑම අතින්ම අතිශූර දෙවන පෙළ ජෙලර් ලෙස E.R.R. අවිශ්ක බණ්ඩාර යන නිලධාරීන් අමාත්යතුමා අතින් සම්මාන ලබා ගන්නා ලදී.සරඹ සංදර්ශනය, සංස්කෘතික සංදර්ශන වැනි අංග වලින් උත්සවය වර්ණවත් වී තිබුණි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන්, බන්ධනාගාර අධිකාරිවරුන්, සහකාර බන්ධනාගාර අධිකාරිවරුන්, හිටපු බන්ධනාගාර කොමසාරිස්වරුන්, ආධුනික ජෙලර් හා 105 වන ආධුනික නියාමක පුහුණු පාඨමාලා ද්විත්වයේ නිලධාරීන්ගේ දෙමාපියන් සහ ඥාතීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ දුම්බර බෝගම්බර බන්ධනාගාරය සහ පල්ලේකැලේ එළිමහන් බන්ධනාගාරය මුලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්රණය පිහිටුවීමෙන් පසුව දුම්බර බන්ධනාගාරයේ නිලධාරීන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී අදහස් පළ කරමිනි. (2026.09.17)
දුම්බර බන්ධනාගාරයේ නිලධාරීන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී අදහස් පළ කළ අධිකරණ අමාත්යතුමා .......
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙත වන්දි මුදල් ලබාදීමට අවශ්ය පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා හරහා ලැබී තිබෙනවා. ඔබ කරනු ලබන විශිෂ්ට සේවය වෙනුවෙන් වැටුප් හා දීමනා ඉහළ නැංවිය යුතුයි. ඉදිරි අයවැයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ විශාල නිලධාරී පුරප්පාඩු සංඛ්යාවක් තිබෙනවා. නිලධාරීන්ගේ සේවය මුදලින් තක්සේරු කරන්න බැහැ. බන්ධනාගාර තදබදය අවම කිරීමට සියලු පියවර ගෙන තිබෙනවා. ලබන වසරේ ජනවාරි 31 වන දින වන විට මාස තුනකට වඩා වැඩි කාලයක් රස පරීක්ෂක වාර්තා ප්රමාදවීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිය නොහැකි වන පරිදි වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. මත්ද්රව්යට ඇබ්බැහිවුවන්ට සමාව දෙනවා වගේම අලෙවි කරන්න්නට කිසිම සමාවක් නැහැ. මත් ද්රව්ය සැපයුම නවතා දැමීමට අපිට හැකියාව තිබෙනවා. නමුත් ඉල්ලුම නතර කිරීමට නම් සමාජයේ සහාය අවශ්යයි. ඔබට ආර්ථික ගැටළු පවතින්න පුළුවන් නමුත් සමාජ විරෝධි කටයුතු කිරීමට කටයුතු කරන්න එපා. බන්ධනාගාර වෘත්තිය ගෞරවණිය වෘත්තියක් වන බැවින් සේවයේ ගරුත්වය ආරක්ෂා කර ගනිමින් බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ යුතුයි. ගෞරවය බන්ධනාගාර නිලධාරීන් අතරත් යම් යම් ප්රතිලාභ අපේක්ෂාවෙන් සමාජ විරෝධි කටයුතු කරනු ලබන නිලධාරීන් ඉන්න පුළුවන්. කිසියම් ප්රතිලාභයක් වෙනුවෙන් තවත් අයෙතුගේ ජීවිතයක් විනාශ නොකළ යුතු බවද අමාත්යතුමා සදහන් කළේය.
නඩු කටයුතු සදහා රැදවියන් රැගෙන යාමේදී නිලධාරීන් මුහණ දෙන ගැටළු, රැදවියන්ගේ සහ නිලධාරීන්ගේ සුභ සාධන ගැටළු ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.
බන්ධනාගාරයේ පවතින තත්වය පිළිබදව නිරීක්ෂණයක ද අමාත්යතුමා නිරත වු අතර, එහිදී සිරකරුවන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡාව කරන ලදී.
බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්වයක් ඇති වුවහොත් හදිසි ප්රතිචාර දැක්වීමට සහ රැදවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව සියලු බන්ධනාගාර මුලික කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්රණ පිහිටුවීමට පියවර ගෙන තිබේ.
ඒකාබද්ධ යාන්ත්රණය පිහිටුවීමේ අවස්ථාවට මහනුවර සහ මාතලේ දිසා භාර නියෝජ්ය පොලිස්පති සුදත් මාරසිංහ, බ්රිගේඩියර් කේ. එස්. පී. පොත්තපිටිය, මහනුවර අතිරේක දිසාපති ලලිත් අම්පාවල, මැණික්හින්න ප්රාදේශිය ලේකම් කෞශල්යා දිසානායක, දුම්බර බෝගම්බර බන්ධනාගාර අධිකාරී, එල්. පී. වර්ණකුලසුරිය, එහි සහකාර බන්ධනාගාර අධිකාරී එච්.එම්.ඩී.හේරත්, පල්ලෙකැලේ සහකාර බන්ධනාගාර අධිකාරී මංගල වැලිපිටිය යන මහත්ම මහත්මීන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, නාවික හමුදාව, ගුවන් හමුදාව, ජල සම්පාදන මණ්ඩලය, ගිනි නිවීමේ හමුදාව ඇතුළු රාජ්ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියහ.

- මත්ද්රව්ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා මාස තුනක් තුල ලබාදීමට කටයුතු කර තිබෙනවා - අධිකරණ ඇමති පවසයි.
- DNA පරීක්ෂණ ධාරිතාවය වැඩිදියුණු කිරීමට නවීණ උපකරණ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දෙයි .
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA පරීක්ෂණ ධාරිතාවය තවදුරටත් වැඩිදියුණු කිරීම සදහා අත්යවශ්ය උපකරණ එම දෙපාර්තමේන්තුවේ DNA රසායනාගාරයට ලබාදීමට එක්සත් ජාතීන් සංවර්ධන වැඩසටහන (UNDP) කටයුතු කර ඇති අතර, අදාළ උපකරණ එක්සත් ජාතීන් සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්ය නියොජිත Azusa Kubota මහත්මිය විසින් රජයේ රස පරීක්ෂක කාමිණි පෙරේරා මහත්මිය වෙත භාරදීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඉදිරිපිටදී අද (15) පෙරවරුවේ බත්තරමුල්ල, ඉසුරු මාවත පිහිටි එම දෙපාර්තමේන්තු පරිශ්රයේදී සිදු විය.
එම උපකරණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව රජයේ රස පරීක්ෂක කාමිණි පෙරේරා මහත්මිය සහ එක්සත් ජාතීන් සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්ය නියොජිත Azusa Kubota මහත්මිය අතර උපකරණ භාරදුන් බවට ගිවිසුම් වෙනුවෙන් අත්සන් කිරීම ද සිදු විණි.
රස පරීක්ෂක වාර්තා ලබාදීමේ ප්රගතිය සහ නවීණ පරීක්ෂණ උපකරණවල අවශ්යතා ඇතුළු පහසුකම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් වැඩබලන රජයේ රස පරීක්ෂක කාමිණි පෙරේරා, එක්සත් ජාතීන් සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්ය නියොජිත Azusa Kubota, ශ්රි ලංකාවේ කැනඩා මහ කොමසාරිස් Isabella Martin මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.
එහිදී අදහස් පළ කළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ..
රස පරීක්ෂක වාර්තා ප්රමාදය පසුගිය කාලය තුළ බරපතල ගැටළුවක් බවට පත්ව තිබුණා. එම ගැටළුව විසදීමට අවශ්ය විධිමත් පියවර මේ වන විට ගෙන තිබෙනවා. වත්මන් රජය බලයට පත් වන විට දෙපාර්තමේන්තුව තුළ පුරප්පාඩු 118 ක් තිබුණා. ඒ නිසා කාර්යක්ෂම ලෙස රස පරීක්ෂක වාර්තා නිකිත් කිරීමේ දැඩි අපහසුතාවයක් තිබුණා. මේ වන විට අවශ්ය කාර්ය මණ්ඩලය හැත්තෑවක් පමණ බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. එහි නිලධාරීන් රාත්රි දහය පමණ වන තෙක් රාජකාරී කටයුතු සිදු කරමින් වාර්තා ලබාදීම කඩිනම් කිරීමට කටයුතු කරනවා. මත්ද්රව්ය සම්බන්ධ පරීක්ෂණ වාර්තා මාස තුනකට අඩු කාලයක් තුළ නිකුත් කිරීමට අවශ්ය පියවර ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරනු ලබන සේවය අගය කළ යුතුයි.
බන්ධනාගාරවල තිබෙන තත්වයන් නිරීක්ෂණය කිරීමේදී රැඳවියන්ගේ මුලික චෝදනාවක් වුයේ රස පරීක්ෂක වාර්තා ප්රමාදවීම නිසා ඇප ලබා ගැනීමට නොහැකිව ඇති බවයි. මෙම තත්වය අපි පසුගිය වසරේ හඳුනා ගෙන අවශ්ය පියවර ගැනීමට කටයුතු කළා. නවීන යන්ත්ර සහ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් අවශ්ය කරන රසායනික ද්රව්ය අවශ්ය පරිදි ලබාදීමට කටයුතු කර තිබෙනවා. 2022 වසරේ සම්මත කරන ලද නීතියට අනුව මත්ද්රව්යවල ශුද්ධ බර ප්රමාණය ග්රෑම් දහයකට වැඩි නම් ඇප ලබා ගැනීමට අභියාචනාධිකරණයට යාමට සිදුවීමෙන් ඇප ලබා ගැනීමේ ප්රමාදයන් සිදු වුණා. මේ නීතිය සංශෝධනය කිරීමට අවශ්ය පියවර ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත් ද්රව්යවල ශුද්ධ බර ග්රෑම් 100 අඩු නම් මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කරනවා.
ඩී. එන්.ඒ .පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සහ ඒ වෙනුවෙන් තවදුරටත් අවශ්ය තාක්ෂණික පහසුකම් ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු විය.
RT PCR යන්ත්රයක්, PCR පද්ධතියක් සහ Crime Lite සිරොලොජි කට් සංඛ්යාව ඇතුළු උපකරණ එසේ ලබාදී ඇති අතර, කැනඩා රජයේ මුල්ය සහායෙන් එක්සත් ජාතීන්ගේ ජන ගහන අරමුදල මෙම වැඩසටහන ක්රියාත්මක කර තිබේ.
ජීව විද්යාත්මක සාක්ෂි නිවැරදිව සොයා බලා විශ්ලේෂණය කිරීම මගින් අධිකරණ ක්රියාවලියේ විද්යාත්මක පදනම ශක්තිමත් කිරීම, අධිකරණ විද්යාත්මක DNA විශ්ලේෂණයේ නිවැරදි බව, විශ්වාසනීය බව සහ සාක්ෂි ශක්තිය වැඩි කිරීම තුළින් පවතින නඩු පද්ධතියේ ප්රමාදය අවම කිරීම නව උපකරණ ලබා දීමේ අරමුණයි.

- මොරටුව වේල්ස් කුමර හා කුමරි විද්යාලවල 150 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2026 සැප්තැම්බර් 14 වන දින මොරටුව වේල්ස් කුමර විද්යාල පරිශ්රයේදී පැවැති උත්සවය
- මොරටුව සහ කින්නියා ප්රාදේශිය ලේකම් කොට්ඨාශ අතර භාෂා පාලම වැඩ සටහන ක්රියාත්මක කරයි.
- නිකවැරටිය දිසා අධිකරණ ගොඩනැගිල්ල විවෘත කෙරේ.
- බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්වයක් ඇති වුවහොත් හදිසි ප්රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව ක්රියාත්මක වැඩපිළිවෙළ යටතේ මහර බන්ධනාගාරය පරිශ්රයේ අද (01) පෙරවරුවේ පැවති සාකච්ඡාව







